
ප්‍රශ්නගත මිග් යානා 8 මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර දැනට නිල් නිවේදන නිකුත් කර ඇති ඩී එස් එලායන්ස් සහ බෙරිමිසා හෝල්ඩින්ග්ස් සමාගම්වල අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන සැකකරුවන් දෙදෙනාට නිකුත් කර ඇති නිල් නිවේදනය ආපසු කැඳවන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී අද (30) ප්‍රතික්ෂේප කළාය.
සැකකරුවන් දෙදෙනා විමර්ශන සදහා සහාය වීමට මෙරටට පැමිණීමේ සුදානමින් සිටින බව කියමින් ඔවුන් දෙදෙනාට නිකුත් කළ නිල් නිවේදනය ආපසු කැඳවන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ජනරජයේ කිසිඳු දැනීමක් නොමැතිව ඩී එස් එලායන්ස් සමාගම අපරාධමය වරදක් කර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා.

අමෙරිකානු ඩොලර් මිලියන 7ට මිලදී ගත් මිග් යානා 8ට වැඩි මුදලක්වන අමෙරිකානු ඩොලර් මිලියන 14කට මිලදී ගත් බව පවසා ඇති බවත්, යුක්රේන මාෂ් සමාගම සමග ගිවිසුමකට එළැඹෙන බව පවසා ඩී එස් එලායන්ස් සමාගම එම යානා 8 මිලදී ගෙන වංචාවක් සිදු කර ඇතැයිද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.
ගිවිසුම් ගත වී ඇත්තේ ඩී එලායන්ස් සමාගම සමග බවත්, එහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන ටී එස් ලී සහ එන් ජේ ලේක්හිම් යන දෙදෙනාම බෙරිමිසා හෝල්ඩින්ග්ස් සමාගමේ ද අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන බවත්, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් යුක්රේන මාෂ් සමාගම සමග ගිවිසුම් ගතවන්නේ බෙරිමිසා හෝල්ඩින්ග්ස් සමාගම බව ප්‍රකාශ කර ඇතත්, කිසිඳු ගිවිසුමකට එළැඹ නැතැයි ද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
අන්‍යෝන්‍ය සහයෝගිතාව පිළිබඳ පනත යටතේ 18 වතාවක් තොරතුරු ඉල්ලා ලබා ගෙන ඇති අතර, සිදුකළ විමර්ශනවලට අනුව 2018.12.12 දින අධිකරණයට කරුණු දක්වමින් විවෘත වරෙන්තු ලබා ගෙන තිබෙනවා.
වසර ගණනාවක් ගත වී ඇතත් විමර්ශන සදහා කිසිදු සහායක් දී නොමැති හෙයින් වරෙන්තුව ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
source :- https://tinyurl.com/yc3v575h







