වනඅලි රංචුවක් ගැටීම හේතුවෙන් පීලි පැනීමට ලක්වු මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු අද අවසන් කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

සිද්ධියත් සමඟ කොළඹ සහ මඩකලපුව අතර දුම්රිය ධාවනය නවතා දමා තිබෙනවා.

එමෙන්ම මෙම අනතුර සම්බන්ධයෙන් සති දෙකක් තුළ විමර්ශන වාර්තාවක් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කමිටුවක් පත් කර තිබෙනවා.

ඊයේ අලුයම කොළඹ සිට මඩකලපුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කළ රාත්‍රි ඉන්ධන දුම්රියේ වන අලි රංචුවක් ගැටී තිබුණේ මින්නේරිය, රොටවැව ප්‍රදේශයේදීයි.

එම අනතුරෙන් වන අලි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අලියෙකු තුවාල ලැබුවා.

කෙසේ වෙතත් මින්නේරිය වනජීවි නිලධාරී කාර්යාලය සදහන් කළේ, තුවාල ලැබූ වන අලියාට ප්‍රතිකාර කර මේ වන විට වනයට මුදා හැර ඇති බවයි.

එම වන අලියා සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවදානයෙන් පසු වන බව ද එම කාර්යාලය සදහන් කළා.

අනතුරින් ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියේ ටැංකි දෙකක්ද පෙරළි ගොස් තිබූ අතර ඊයේ එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ද දුම්රිය දෙපාර්තමේන්තුව නිරත වී තිබුණා.

මේ අතර, අදාළ ස්ථානයේ පැයට කිලෝමීටර 20ක වේගයෙන් දුම්රිය ධාවනය කරන්නැයි පුවරු සඳහන් කර ඇති පසුබිමක රියදුරු ඊට වඩා වේගයකින් දුම්රිය ධාවනය කර ඇති බවට වනජීවි නිලධාරීන් සැක පල කරනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ නවීන තාක්ෂණික ක්‍රම තිබුණත් වන අලි දුම්රියේ ගැටීම වළකා ගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් විසින් නිසි පියවර ගෙන නොමැති බවයි.

එමෙන්ම, අලිමංකඩ හරස් කර නිර්මාණය කළ විදුලි වැට හේතුවෙන් වන අලි දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමෙන් අනතුරුට ලක් වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කළා.

මීට වසර 6කට පමණ පෙර හබරණ – පුවක්පිටිය ප්‍රදේශයේදී මෙම ඉන්ධන ප්‍රවාහන දුම්රියේම ගැටී වන අලි හයදෙනෙකු මිය ගොස් තිබුණා.

මේ වසරේ මේ දක්වා දුම්රිය අනතුරු හේතුවෙන් වනඅලි මරණ සංඛ්‍යාව 7ක් වාර්තා වී ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා.

2023 වසරේදී දුම්රිය අනතුරුවලින් මියගිය වන අලි සංඛ්‍යාව 24ක්.

source :- https://tinyurl.com/mwfdb9ru

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here