විගමනික ශ්‍රමික ප්‍රජාවගේ නොවිසඳුණු ගැටළු හා ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති , කෝෂල වික්‍රමසිංහ විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම වැඩසටහනට “සභාපතිට කියන්න ” ලෙස නම් කර ඇති අතර එය ජනගත කිරීම ඊයේ (15 ) කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කර තිබෙනවා.

මෙම වැඩසටහන තුළින් විගමනික ශ්‍රමික ප්‍රජාවගේ ගැටළු ඉදිරිපත් කිරිමට පොදු ස්ථානයක් නිර්මාණය කර තිබෙනවා.

සියලුම වර්ගයේ, චෝදනා, විවේචන, දුක් ගැනවිලි සටහන් කරගැනීමට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ ” සභාපතිට කියන්න ” යනුවෙන් නව කවුළුවක් විවෘත කර තිබෙනවා.

රටේ ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට එහිදී හැකියාව ලැබෙනවා.

විවිධ මාර්ග කිහිපයක් ඔස්සේ අපට පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර ඇතැම් විට බාහිර පුද්ගලයින්ගෙන් සිදු වන අසාධාරණකම් වෙන්න පුළුවන් නැත්නම් රජයේ නිලධාරීන්ගෙන් වෙන්න පුළුවන් කුමන හෝ ආකාරයෙන් අසාධාරණකමක් වුවත් ඊට විසඳුම් ලබා දෙන්න තරාතිරම් නොබලා කටයුතු කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති , කෝෂල වික්‍රමසිංහ මෙහිදී කියා සිටියා.

” සභාපතිට කියන්න – Talk to Chairman ” නම් මෙම වැඩසටහන මගින් අදාළ ගැටළු සභාපතිවරයා වෙත යොමු කරන අතර, ඒ සඳහා සිය පෞද්ගලික අවධානය එම ගැටළු වෙත යොමු කරමින් ඊට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරනු ලබනවා.

ඒ වෙනුවෙන් විශේෂ ඒකකයක් ද කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය ස්ථාපනය කර තිබෙනවා.

මීට අමතරව, පැමිණිලි පෙට්ටියක් ද ස්ථාපනය කර ඇති අතර, ඊට යොමු කරන පැමිණිලි සඳහා ද විසඳුම් ලබාදීමට කටයුතු කෙරේ. පැමිණිලිකරුවාගේ පෞද්ගලික රහස්‍යභාවය සුරැකීමට ද පියවර ගෙන තිබෙනවා.

තවද, 0112 864188 දුරකථන අංක ඔස්සේ ද පැමිණි බාරගනු ලබන අතර, 0717 593 593 යන Whatsasp අංකය ඔස්සේ හා talkchairman@slbfe.lk යන ඊමේල් ලිපිනය ඔස්සේ ද පැමිණි යොමු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

විගමනික ප්‍රජාවගේ ගැටළු විශ්වාසවන්තව ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හා කාර්යාංශය මගින් වඩාත් හිතකර හා සුහදශීලි සේවාවක් ජනතාවට ලබාදීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, සාම්ප්‍රදාය අභිබවා නව වෙනසක් ලෙසින් කාර්යාංශය ජනතාවට සමීප කිරීම මෙමගින් බලාපොරොත්තු වනවා.

source :- https://tinyurl.com/ypuned7u

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here