වසර දෙකකට අදාළව රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයකට අධික වැට් බදු ගෙවීම පැහැර හරින ලද සමාගම් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු වන අඹුසැමි යුවළකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මාස 6 බැගින් සිර දඬුවම් නියම කළා.

මෙලෙස දඩුවම් නියම කළේ, මුද්‍රණ ව්‍යාපාරයක අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු වන පාදුක්ක ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකටයි.

2014 හා 2015 යන වසර දෙක සඳහා රජයට ගෙවිය යුතු වැට් බදු පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව 2022 වසරේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

ඒ අනුව අධිකරණය නියෝග කළේ, එම වැට් බදු රජයට ගෙවන ලෙසයි.

එම නියෝගය අභියෝගයට ලක්කරමින් විත්තිකරුවන් දෙපළ කොළඹ මහාධිකරණය හමුවේ හා අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබුණද එම ඉල්ලීම් අදාළ අධිකරණ මගින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ අනුව ඊයේ කොළඹ අතිරේක මහේත්‍රාත්වරයා හමුවේ එම නඩුව නැවත කැඳවූ අවස්ථාවේ අදාළ බදු මුදල් රජයට ගෙවන ලෙසයි අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

කෙසේ වෙතත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා ඉල්ලා සිටියේ එම බදු මුදල් එක්වර ගෙවීමට හැකියාවක් නොමැති බැවින් ඒ සඳහා විත්තිකරුවන්ට වසර පහක සහන කාලයක් ලබා දෙන ලෙසයි.

එහෙත් එය ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා වැට් බදු ඊයේ දිනය ඇතුළතම ගෙවන ලෙසටද නියෝග කළා.

එහෙත්, එදින එම වැට් බදු ගෙවීමට තමන්ට හැකියාවක් නොමැති බවට විත්තිකාර යුවළ සිය නීතිඥවරයා මගින් අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව එය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එම විත්තිකරුවන් දෙදෙනාට මාස 6 බැගින් එසේ සිර දඬුවම් ලබා දෙන ලෙසටද නියෝග කරනු ලැබුවා.

මේ අතර මෙතෙක් බදු නොගෙවූ පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් බදු අයකරගැනීමේ වැඩපිළිවෙළක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඊයේ සිට ආරම්භ කළා.

source :- https://tinyurl.com/3eaepmj2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here