තත්ත්වයෙන් බාල ප්‍රතිදේහ එන්නත් නැවත වරක් මෙරටට ආනයනය කර ඇති බවට සඳහන් කරමින් සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ වෛද්‍ය සැපයුම් ඒකකය නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව එවැනි බාල තත්ත්වයේ එන්නත් නැවත වරක් ඉන්දියවෙන් ආනයනය කර ඇති බවට අනාවරණ වී ඇති බවයි.

ප්‍රශ්නගත තත්ත්වයෙන් බාල ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරිමේ සිද්ධිය පසුගිය දිනවල රට තුළ මහත් ආන්දෝලනයක් සිදු කළ කාරණයක් වන අතර ඒ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද පියවර ගත්තා.

කෙසේ වෙතත් මාස හතකට පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකු පසුගිය 13 වනදා ඇප මත නිදහස් කිරීමටයි මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණේ.

එවන් පසුබිමක බාල ප්‍රතිදේහ එන්නත් නැවත වරක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

source :- t.ly/ENcwx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here