වසර 29ක් පුරා කිසිදු තොරතුරක් නොමැතිව සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටි මවක් යළි සිය දරුවන්ගේ නිවස සොයා පැමිණි පුවතක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

විදෙස්ගත වනවිට ඇගේ පුත්‍රයාට වයස අවුරුදු 13 සහ දියණියට අවුරුදු 12 ක් වූ අතර මේ වන විට ඔවුන් පසුවන්නේ 43 සහ 42 හැවිරිදි වයස්වලයි.

වාරියපොළ – හිඳගහවැව ප්‍රදේශයේ පදිංචි කමලාවතී නම් මෙම මව, 1995 වසරේ මැයි 17 වැනිදා සෞදි අරාබියේ ගෘහ සේවයට පිටත්ව ගොස් තිබුණා.

මාස හයක පමණ කාලයක් සැමියා සහ දරුවන් සමඟ ලිපි සහ දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධතා පැවැත්වූ කමලාවතීගේ සියලු‍ සබඳතා පසුව ඇණහිට ඇති අතර සිය බිරිඳට සිදුවූ දේ සොයා ගැනීම සඳහා සැමියා අවස්ථා කිහිපයකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ගියද, ඇය පිළිබද තොරතුරක් ලබා ගැනීමට හැකි වී නැහැ.

පසුව ඔහු රෝගී තත්වයක් හේතුවෙන් 2009 වසරේදී මියගොස් තිබෙනවා.

එවැනි පසුබිමක වසර 29 කට පසු දිවයිනට පැමිණි ඇය ගුවන්තොටුපොළේ සහන පියසේ සහය ඇතිව වේයන්ගොඩ කළගෙඩිහේන ප්‍රදේශයේ දරුවන්ගේ නිවසට පැමිණියා.

මේ අතර හිස්බුල්ලා සටන්කාමින් ඉලක්ක කර ඊශ්‍රායලය අඛණ්ඩව එල්ල කරන රොකට් ප්‍රහාර සම්බන්ධයෙන් ලෙබනනයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් අවධානයෙන් පසුවිය යුතු බව එරට ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර ප්‍රකාශ කළා.

එමෙන්ම ඊශ්‍රායල ඉලක්ක වෙත හිස්බුල්ලා සංවිධානය විසින් ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ සිට එල්ල කරන ප්‍රහාර පිළිබඳව විමසිලිමත් වන ලෙසත් සයිරන් හඬ ඇසෙන විට තමන් අසලම ඇති ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර එහි සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

source :- https://tinyurl.com/j26bfe4d

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here