තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 7,000 සීමාව පසුකර යෑමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඊයේ  (8) සමත් විය.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ඔහු මෙම කඩයිම පසුකර ගියේය.

තෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වනවිට දිමුත් ලකුණු 6,990ක් රැස්කරගෙන 7,000 කඩයිමට ලකුණු 10ක් පසුපසින් සිටියේය.

කෙසේ නමුත් පළමු ඉනිමේදීම එම කඩයිම පසුකර යෑමට තිබූ අවස්ථාව එක් ලකුණකින් දිමුත්ට අහිමිව ගියේය. එම ඉනිමේ දිමුත්ට රැස්කළ හැකිවූයේ ලකුණු 09ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් 123වැනි ක්‍රීඩකයා ලෙස 2012 වසරේදී සිය ටෙස්ට් දිවිය ඇරඹූ දිමුත්, මේ දක්වා තරග 94ක ඉනිම් 180ක් ක්‍රීඩාකර ශතක 16ක් හා අර්ධ ශතක 38ක් සමගින් ලකුණු 7,007ක් රැස්කරගෙන සිටියි.

ටෙස්ට් ලකුණු 7,000 සීමාව පසුකළ සිව්වැනි ශ්‍රී ලංකා පිතිකරුවා දිමුත්වන අතර, මෙම කඩයිම පසුකළ ලොව 57වැනි පිතිකරුවා ද ඔහු වෙයි.

ටෙස්ට් ලකුණු හත්දහසේ කඩයිම පසුකළ මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ සෙසු පිතිකරුවන් වන්නේ කුමාර් සංගක්කාර (12,400), මහේල ජයවර්ධන (11,814) හා ඇන්ජලෝ මැතිව්ස් (7731) පමණි.

source :- https://tinyurl.com/mr3xrd79

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here