රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන් පිලිබඳ රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ, අනුව 24%ත් 25%ත් අතර ප්‍රමාණයකින් සියලු රජයේ සේවකයන්ගේ මූලික වැටුප ජනවාරියේ සිට ඉහළ යන බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන් පිලිබඳ මෙලෙස අදහස් දැක්වුවා.

“කැබිනට් අනුමැතිය ලැබූ රාජ්‍ය සේවක වැටුප් වර්ධක යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපාදන මත වසර තුනක් නොවෙනස්ව පවතිනවා. කුමන රජයක් පැවතුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා මත එය ක්‍රියාත්මක විය යුතුයි. අය-වැය වෙනුවෙන් මේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. එයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. නමුත් ඇතැම් මාධ්‍ය මෙය නිවැරදිව ප්‍රචාරය කර නෑ.” යනුවෙන් රජයේ කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

“කැබිනට් මණ්ඩලයේදී ජීවන වියදම් පිළිබඳ සිදු කළ ප්‍රකාශය වැරදි ආකාරයට සමාජගත වෙනවා නම් එය නිවැරදි කරන්න කැබිනට් ප්‍රකාශක වශයෙන් මට යුතුකමක් සහ වගකීමක් තිබෙනවා. දීර්ඝ කාලයක් මූලික වැටුප ගළපලා නැති නිසා මූලික වැටුප ඉහළ නැංවීම සහ රුපියල් 25,000 බැඟින් ජීවන වියදම් දීමනාව වසර තුනක් නොකඩවා දෙන බවට යෝජනාවක් තිබුණා.

මේ තීරණ මම දැනුම් දුන් පසු හිතවත් මාධ්‍ය ආයතන එහි කොටසක් පමණක් සමාජගත කර තිබෙනවා. එහිදී බොහෝ අය සඳහන් කළේ මූලික වැටුප ගැන නොව රුපියල් 25,000ක් වැඩි කිරීම පිළිබඳ පමණයි.

ආණ්ඩුකරණය සහ දේශපාලනය කිරීම යනු කරුණු දෙකක්. මේ වන විට මුදල් අමාත්‍යාංශය අය-වැය ලේඛනය සකස් කරමින් තිබෙනවා. ඒවාට ඇතුළු කිරීමට කැබිනට් මණ්ඩල නිවේදනය නිවැරදි විය යුතුයි. සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක දීමනාවක් සංශෝධනය නොකොට වසර තුනක් පුරාවට දීම සිදු වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here