
ලබන වසර සඳහා වන අය-වැය මඟින් රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප සියයට 24ත් – 35ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
අවම මූලික වැටුප ඉහළ නැංවීමෙන් පසු රාජ්‍ය අංශයේ පහළම ශ්‍රේණියේ සේවකයන්ටත් සේවා නියුක්ත කම්කරුවන්ටත් මසකට අවම වශයෙන් රුපියල් 55,000ක වැටුපක් හිමි වෙයි. එසේම රාජ්‍ය සේවයේ සියලු අංශයන්හි සේවකයන්ට ලබන අය-වැයේ සිට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් ගෙවීමටත් තීරණය වී ඇති අතර එම දීමනාව සෑම වසර තුනකට වරක් සංශෝධනය කිරීමටත් යටත්ව ගෙවනු ලැබේ. අනෙකුත් සියලු තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගැළපීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මෙම ගෙවීම් සියල්ල 2025 අය-වැය ලේඛනයට ඇතුළත් කර තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවයේ වැටුප්, වේතන හා අනෙකුත් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර, රාජ්‍ය සේවයේ සියලු අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා, 2025 අය-වැය මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා 2024.05.27 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බව ද හෙතෙම කීවේය.
ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කරනු ලැබ ඇත. අදාළ තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අතුරු වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබ තිබෙන බව ද ඇමැතිවරයා කියා සිටියේය.
එකී වාර්තාවේ නිර්දේශ යෝජනා සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත් අදාළ යෝජනා 2025 වර්ෂයේ අය-වැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ද ඇමැතිවරයා කීවේය.
සමස්ත රාජ්‍ය සේවයේ සියලු තනතුරු ප්‍රධාන මට්ටම් 04ක් යටතේ වර්ගීකරණය කර, එක් එක් කාණ්ඩය ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය (SLQF) හා ජාතික වෘත්තීය නිපුණතාව (NVQ) පදනම් කර ගනිමින් හා අදාළ රැකියා කාර්යභාරය, වගකීම් හා විශේෂ රැකියා සඳහා නිපුණතාවකින් යුත් සේවකයන් ආකර්ෂණය කර ගැනීම හා රැකියාවන්හි රඳවා ගැනීම සැලකිල්ලට ගෙන, බඳවා ගැනීමේ සුදුසුකම් අනුකාණ්ඩවලට වර්ගීකරණය කිරීමට ද අනුමැතිය හිමි වූ බව ඒ මහතා සඳහන් කළේය.
ප්‍රාථමික සේවා කාණ්ඩ සඳහා ද බඳවා ගැනීමේ මූලික සුදුසුකම් ලෙස ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය, ජාතික වෘත්තීය නිපුණතාව පදනම්ව සේවා අවශ්‍යතාව පරිදි සුදුසු තෝරා ගැනීමේ ක්‍රමවේද අනුගමනය කිරීමත් අනෙකුත් සියලු සේවා කාණ්ඩ සඳහා විධිමත් තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මඟින් පමණක් බඳවා ගැනීමටත් අනුමැතිය හිමි වූ බව හෙතෙම කීවේය. ඒ අනුව යෝග්‍ය පරිදි දැනට පවතින අනුමත බඳවා ගැනීමේ පටිපාටි කඩිනමින් සංශෝධනය කිරීම හා 2025 පාදක වසර ලෙස සලකා ජීවන වියදම් දීමනා සඳහා සිදු කර ඇති විවිධ ගැළපීම් හා මේ වන විටත් එක් කොට ඇති දීමනා සියල්ල ඒකාබද්ධ කොට, සියලු රජයේ සේවකයන් සඳහා (සෑම වසර 03කටම වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දීමනාව ලෙස මාසිකව රුපියල් 25,000ක් ගෙවීමටත් අනුමැතිය හිමි වූ බව ගුණවර්ධන මහතා පැවැසීය.
ව්‍යාපාරික රාජ්‍ය සමාගම් හා බැංකු හැර අන් සියලු රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දීමනා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටත් 2030 වන විට රාජ්‍ය සේවයේ සමස්ත සේවක මණ්ඩලය ලක්ෂ දහයක් (1,000,000) හෝ ඊට අඩු මට්ටමක් දක්වා සීමා කර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීමටත් අනුමැතිය හිමිව තිබේ.







