
එළැඹෙන කාලසීමාව තුළදී කිසිදු අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය වන හෝ අගතියට පත්වන අයුරු රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය කටයුතු නොකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතා පැවසුවා.
ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය තොරතුරු ප්‍රචලිත කිරීමෙන් සහ වෛරී අදහස් සමාජගත කිරීමෙන් වළකින ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.

එසේම ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ වගකීම් සහගතව සමාජ මාධ්‍ය භාවිත කරන ලෙසට සිය පාක්ෂිකයින් දැනුවත් කරන ලෙසටය.
ඡන්දය දෙන අවස්ථාව ඡායාරූපගත කිරීමේ වළකින ලෙස ද සභාපතිවරයා සියලු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියා.
එහිදී මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේ එය දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.







