යාපනයේ රාජ්‍ය බැංකුවක ලිපිකරු පත්වීම් ලබාදෙන බව පවසා රුපියල් කෝටි තුනක පමණ මුදලක් වංචාකළ යාපනයේ රාජ්‍ය බැංකුවක හිටපු කළමනාකාරවරයෙකු ඊයේ (29) යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සේවය කළ බැංකුවේ ලිපිකරු පත්වීම් ඇති බවත්, තමන් ඉහළ පෙළේ බැංකු නිලධාරීන් දන්නා හඳුනන නිසා ඔහුට එම පත්වීම් ලබාදිය හැකි බවත් පවසමින් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මෙම හිටපු බැංකු කළමනාකාරවරයා විසින් ලබාගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

මේ අන්දමට යාපනය, මුලතිව් හා කිළිනොච්චිය යන පළාත්වල තරුණ තරුණියන් විසි දෙනෙකුට වඩා වැඩි පිරිසකගෙන් මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මුදල් ලබාදුන් නමුත් රැකියා නොලැබීම නිසා එම මුදලෙන් විදේශ රටවලට යාමට අපේක්ෂා කළ තරුණයින් දෙදෙනෙකු හිටපු බැංකු කළමනාකාරවරයා හමු වී ඔවුන්ගේ මුදල් ආපසු ඉල්ලා තිබෙනවා.

එහිදී කාලයක් මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළ ඔහු, පසුව මුදල වෙනුවෙන් මතු දාතම චෙක්පත් දෙකක් එම තරුණයින් දෙදෙනාට ලබා දී ඇති අතර, අදාල දිනයේදී තරුණයින් එම චෙක්පත් බැංකුවට ඉදිරිපත් කළද ගිණුමේ මුදල් නොමැතිකම මත චෙක්පත් දෙක අගරු චෙක්පත් වී තිබෙනවා.

පසුව මේ පිළිබඳව එම තරුණයින් දෙදෙනා බැංකු වාර්තා සමග යාපනය පොලීසියේ විශේෂ වංචා විමර්ශන අංශයට පැමිණිලි කිරීමෙන් පසුව හිටපු බැංකු කළමනාකාරවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාකරු සඳහන් කළේ.

source :- https://tinyurl.com/mvxd99vs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here