මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ වන විට රටින් පළා ගොස් සිටින ජූඩ් ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරු මේවනවිට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

කාන්තා මාධ්‍ය එකමුතුව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සමාව ප්‍රදානය කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ අනුව අදාල සමාව බල රහිත කරන බවත් නියෝග කර තිබුණා.

ඉන් අනතුරුව මෙම විත්තිකරු මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග වල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කර තිබුණා.

ඒ අනුව මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබෙන්නේ මෙම විත්තිකරු රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

ඊට අමතරව එම විත්තිකරුගේ බැංකු ගිණුම් වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම කරුණු පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු දැනුම් දී තිබෙන බවත් ඔහු සඳහන් කළා.

ඉන් අනතුරුව අදාල පෙත්සම යළි මාර්තු මස 12 වන දා කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් රජයේ නීතිඥවරයාට නියම කළා.

source :- https://tinyurl.com/4cnc8hfm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here