පාසල් දරුවන්ගේ ජල බෝතල් සහ කෑම පෙට්ටි මිලදී ගැනීමේදි දැඩි ලෙස විමසිලිමත්වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔවුන් පවසන්නේ නව පාසල් වාරයේ ආරම්භය ඉලක්ක කර ගෙන අලෙවි කෙරෙන සෞඛ්‍යයට අහිතකර ප්ලාස්ටික් ඇසුරුම් සොයා ඉදිරි දිනවලදී දිවයින පුරා වැටලීම් ද ක්‍රියාත්මක කරන බවයි.

නව පාසල් ආරම්භය සඳහා සූදානම්වන දෙමාපියන් තම දරුවන්ගේ පරිහරණය සඳහා අවශ්‍ය පාසල් උපකරණ මිලදි ගැනීම සඳහා මේ දිනවල වැඩි වශයෙන් උනන්දු වනවා.

දරුවන්ට අවශ්‍ය ආහාර සහ ජලය පාසල වෙත රැගෙන යෑමට අවශ්‍ය විවිධ වර්ගයේ අලංකාරවත් ප්ලාස්ටික් ඇසුරුම් මිලදී ගැනීමට ද දෙමාපියන් හුරුව සිටිනවා.

දෙමාපියන් එවැනි භාණ්ඩ මිලදී ගනු ලබන්නේ දරුවන්ගේ යහපත අරමුණු කරගෙන වුවත්, වෙළෙඳ පොළ තුළ පවතින ප්ලාස්ටික උපකරණවල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් බොහෝ මව්පියන්ට නිසි අවබෝධයක් නැහැ.

ඒ හේතුවෙන් ඔවුන් මිලදී ගනු ලබන උපකරණ රැසක් දරුවන්ට දැඩි ලෙස අහිතකර විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අගවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ වෙළෙඳ පොළ තුළ පවතින ප්ලාස්ටික් භාජනවලින් 75% ක්ම ඒ සඳහා නුසුදුසු ඒවා බවයි.

ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන බිස්ෆිනොල් ඒ – වැනි ඇතැම් රසායනික ද්‍රව්‍ය ප්ලාස්ටික් ආහාර ඇසුරුම්වලට යොදා නොගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ එවැනි හානිදායක රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති ප්ලාස්ටික් භාජන හේතුවෙන් දරුවන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වය ව්‍යාකූලවීම, මඳසරු භාවය, ලිංගික දුබලතාවය ඇති කිරීම, ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ගැටලු ඇති කිරීම වැනි රෝගී තත්ත්වයන් හටගන්නා බවයි.

එමෙන්ම, එම රසායනික ද්‍රව්‍ය පිළිකාකාරකයක්ද වන බව ඔවුන් පෙන්වා දෙනවා.

ආහාර සහ ජලය ඇසුරුම් කිරීම සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් භාජන මිලදී ගැනීමේදි ප්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමුකළ යුතු වන්නේ ඒ හේතුවෙන්.

ප්‍රමිතියෙන් යුතු ප්ලාස්ටික් භාජනවල යට කොටසෙහි අංක පහ සලකුණක් සටහන් කර තිබෙනවා.

එමෙන්ම, වයින් වීදුරුවක හැඩයක් සහ ගෑරුප්පු හැඩයක් ද ඇතැම් භාජනවල දක්නට ලැබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටින්නේ ප්ලාස්ටික් ආහාර ඇසුරුම් සහ ජල බෝතල් මිලදී ගැනීමේදි එම සලකුණු සහිත විශ්වාසනීය නිෂ්පාදන පමණක් මිලදී ගන්නා ලෙසයි.

source :- https://tinyurl.com/4e5bj9sc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here