අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දැඩිමුනි බාලේන්ද්‍රසිංහ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි දිමුතු සම්පත් හෙවත් පොඩි දිමුතු නැමැත්තා කටුනායක ගුවන් තොටුපලේදී ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවල නිළධාරීන් විසින් ඊයේ මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ සාජා නුවර සිට එයාර් ඇරබියා ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණි අවස්ථාවේදීයි.

28 හැවිරිදි වියේ පසුවන මොහු අම්බලන්ගොඩ – කුලීගොඩ – ගලබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

රත්ගම පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් පරීක්ෂක දැඩිමුනි බාලේන්ද්‍රසිංහ පසුගිය වසරේ ඔක්තෝම්බර් 09 වැනිදා බලපිටිය මහාධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී සිට යළි පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩිතැබීමකින් ඝාතනයට ලක් වුණා.

දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන පොඩි ලැසී සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුකර තිබූ අතර, ඊයේ අත්අඩංගුවට ගත් දිමුතු සම්පත් හෙවත් පොඩි දිමුතු නැමැත්තා ඒ සදහා ඔත්තු බලා ඇති බවටයි හෙළිවී ඇත්තේ.

source :- https://tinyurl.com/9w3t5a8a

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here