
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඊට අමතරව මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 34,492ක පුද්ගලයින් එක්ලක්ෂ 34 දහස් 484 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කෑගල්ල, ගාල්ල, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, මහනුවර, පොලොන්නරුව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලට වර්ෂාවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
අයහපත් කාලගුණයත් සමග පුද්ගල මරණ තුනක් ද වාර්තා වුණා.
එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 08 කට නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළා.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සහන සැලසීම හා මුදවා ගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ නිරතුරු ගුවනින් නිරීක්ෂණ කටයුතු සිදු කරන ලෙසයි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ උපදෙස් ලබාදී ඇත්තේ.
ඒ සඳහා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර ඇති අතර බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් හිගුරක්ගොඩ සහ පළාලි ගුවන් හමුදා කඳවුරුවල සූදානම් කර ඇති බවයි ගුවන් හමුදාව ප්‍රකාශ කළේ.
මීට අමතරව සහන මෙහෙයුම් සඳහා යුද හමුදා භට කණ්ඩායම් මෙන්ම නාවික හමුදා බෝට්ටුද ජලයෙන් යටවූ ප්‍රදේශ වෙත යොමුකර තිබෙනවා.
source :- https://tinyurl.com/mr3d4j5b







