තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව, දෙරට පස්වසරකට පසු මෙරටදී ටෙස්ට් තරගාවලියට සහභාගී වන අතර, මෙම තරගාවලිය ද ICC ලෝක ටෙස්ට් ශූරතාව යටතේ ක්‍රියාත්මක වනවා.

ශ්‍රී ලංකාව මේවන විට ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවන අතර, නවසීලන්තය රැඳී සිටින්නේ එහි තෙවැනි ස්ථානයේයි.

ඒ අනුව, ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් දෙපිලටම මෙම තරග දෙකේ ජය තීරණාත්මක වනවා.

ගාල්ලේදී දඟ පන්දුවේ වාසිය ගැනීමේ අරමුණින් ප්‍රභාත් ජයසූරියට අමතර රමේෂ් මෙන්ඩිස් ද ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙන අතර, ඒ අනුව එංගලන්තයේදී දස්කම් පෑ මිලාන් රත්නායකට සිය ස්ථානය අහිමිව තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ වෙනස්කම් කිහිපයක්ම සිදුකර තිබෙන අතර, ඒ අනුව දිනේෂ් චන්දිමාල් අංක තුන් ස්ථානයෙත්, කමිඳු මෙන්ඩිස් අංක පහ ස්ථානයේත් ක්‍රීඩා කිරීමට නියමිතයි.

කඩුලු රැකීමේ වගකීම දරණ කුසල් මෙන්ඩිස්ට හත්වැනි ස්ථානයේ පිතිකරණයේ නිරත වන්නට සිදුවනවා.

මේ අතර, මෙම තරගයේ සිව්වැනි දිනය වන එළැඹෙන 21වැනිදා ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හේතුවෙන් එදින විවේකී දිනයක් ලෙස නම් කර තිබීමත් සුවිශේෂී සිදුවීමක් වනවා.

ඉන් පසු දිනයේදී ටෙස්ට් තරගය යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර, මෙලෙසින් ශ්‍රී ලංකාවේදී විවේකී දිනයක් සහිතව ජගත් ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ ද විසිතුන් වසරකට පසුවයි.

source :- https://tinyurl.com/4ykxd9wt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here