යාපනයේ සිට ස්විස්ටර්ලන්තයට ගොස් එහි පුරවැසිභාවය ලබා ගෙන සිටින 53 හැවිරිදි ද්‍රවිඩ පුද්ගලයෙක් රවටා රුපියල් ලක්ෂ පනහක මුදලක් වංචනිකව ලබාගත් යාපනයේ කාන්තාවන් තුන්දෙනෙකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාවන් තුන්දෙනා වයස අවුරුදු 23ක තරුණියක් යොදාගෙන සකස් කළ ටික්ටොක් වීඩියෝවක් ස්විස්ටර්ලන්තයේ සිටි මෙම පුද්ගලයාගේ ජංගම දුරකතනය වෙත යවා ඇතැයි පැවසේ.

පසුව එම තරුණිය හා ස්විස්ටර්ලන්ත ජාතිකයා අතර මිතුදමක් ගොඩනගා එය ක්‍රමයෙන් සමීප සබඳතාවයක් දක්වා වර්ධනය කර ගැනීමට ඔවුන් සමත්ව ඇති බවටයි වාර්තා වෙන්නේ.

පසුව ඔහු ඇය සදහන් කළ බැංකු ගිණුමට වරින් වර මුදල් එවා තිබෙනවා.

එම මුදලෙන් කොටසක් එවා ඇත්තේ, ඔහු යාපනයට පැමිණි පසුව ඔවුන් දෙදෙනාට එකට ජීවත් වීමට අතිසුඛෝපභෝගී කාමරයක් ඉදි කිරීම පිණිස බව සඳහන්.

තරුණිය එසේ ජීවත් වීමට කැමති බව ඔහුට දැනුම් දීමෙන් පසුවයි ඔහු ඒ සඳහා මුදල් එවා ඇත්තේ.

කාලයත් සමගම එම තරුණිය වෙනස් වී ඇති අතර, දුරකතන ඇමතුම් ලබා ගැනීම පවා නවතා තිබෙනවා.

ඔහු ස්විස්ටර්ලන්තයේ සිට යාපනයේ සිටින තම ඥාතීන් බැලීමටත්, පෙම්කළ තරුණිය සමග නිවාඩුවක් ගත කිරීමටත් සිතා යාපනයට පැමිණි පසුව තරුණිය සදහන් කළ ලිපිනයේ එවැනි අයෙකු පදිංචි නොමැති බවටයි අනාවරණය වී ඇත්තේ.

පසුව ඔහු මේ සම්බන්ධයෙන් යාපනය පොලිසියට පැමිණිලි කර මුදල් තැන්පත් කළ බැංකු ගිණුම් අංකද පොලීසියට බාර දී තිබෙනවා.

බැංකු ගිණුම් ඔස්සේ පරීක්ෂණ සිදු කළ යාපනය පොලීසියට එම ගිණුම වයස අවුරුදු 47ක කාන්තවකගේ බවට තහවුරු වීමෙන් පසුව පොලීසිය ඇයව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබෙනවා.

ඇය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියල්ල හෙළි කිරීමෙන් පසුවයි පොලිසිය එම කාන්තාවන් තුන්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසත්, ලබා ගත් මුදල් ඉතාම ඉක්මනින් ආපසු ලබා දෙන බවටත්, පොලිසියට පොරොන්දු වී ඇතත් යාපනය පොලිසිය ඔවුන් තුන්දෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

source :- https://tinyurl.com/24dkf8uy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here