දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් අවධානය යොමු කළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර හා දකුණ යන පළාත්වලට මෙන්ම රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කයට මෙම තත්ත්වය ඇති විය හැකි බවයි.

මේ හේතුවෙන් වැඩබිම් තුළ රැදී සිටින්නේ නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව සැලකිලිමත් විය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම, වාහන තුළ කුඩා ළමයින් තනිවම රදවා නොයන ලෙස ද ඔවුන් දැනුම් දෙනවා.

මේ අතර ලානිනා සංසිද්ධිය අඩුවීම හේතුවෙන් ඉදිරියේදී ජලවිදුලි බලාගාර පිහිටි මධ්‍යම කදුකරයට වැසි ලැබීම පමාවිය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.

හිරු ප්‍රවෘත්ති සමග සංවාදයට එක්වෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ, පෙර වසරවලට සාපේක්ෂව උෂ්ණත්වය ඉහළ යාම කඩිනමින් සිදුවීමට එම තත්ත්වය හේතුවී ඇති බවයි.

එමෙන්ම, ඉදිරියේදී විදුලිබල, වාරිමාර්ග, ආපදා ඇතුලු‍ පාර්ශවකරුවන්ට කාලගුණ අනාවැකිය නිකුත් කරන ක්‍රමවේදයේ වෙනසක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා.

තවද, පවතින අධික වියළි කාලගුණ තත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩල සදහන් කළේ, වියළි කාලගුණයත් සමඟ ජල මූලාශ්‍රවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවයි.

ඒ හේතුවෙන් ජලය භාවිත කිරීම අවම කර අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ජලය භාවිත කරන ලෙසයි ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

source :- https://tinyurl.com/2cv5b73r

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here