
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන් 260කට වැඩි පිරිසක් බේරාගෙන තායිලන්තයේ බලධාරීන්ට භාර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම සයිබර් අපරාධ කඳවුරු වැටලූ මියන්මාර කැරලිකාර කණ්ඩායමක් වන ප්රජාතන්ත්රවාදී කැරන් බෙනවොලන්ට් හමුදාව (DKBA) විසින් ඊයේ (12) අදාළ වින්දිතයින් තායි බලධාරීන්ට භාර දී තිබෙනවා.
ප්රජාතන්ත්රවාදී කැරන් බෙනවොලන්ට් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් සෝ සැන් අවුන්ග් විසින් දුරකථන සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් වොයිස් ඔෆ් අමෙරිකා (VOA) ප්රවෘත්ති ඒජන්සියේ බුරුම සේවයට පවසා තිබුණේ, සිය හමුදා කණ්ඩායම කැරන් ප්‍රාන්තයේ මයාවාඩි දිස්ත්‍රික්කයේ අදාළ වැටලීම සිදු කළ බවයි.

“අද අපි සොයා ගන්නා සෑම කෙනෙකුම භාර දෙනවා, නමුත් ක්‍රියාවලිය දුෂ්කරයි. මියන්මාර ජුන්ටාවේ ආගමන දෙපාර්තමේන්තුව ඉල්ලීම් ඉදිරිපත් කරනවා, භූමි ප්‍රදේශය අභියෝගාත්මකයි. ළඟම ඇති තායි බලධාරීන් වෙත මාරු කිරීමට පෙර වින්දිතයින් අප විසින්ම ලබා ගත යුතුයි,” යනුවෙන් ඔහු එහි දී වැඩිදුරටත් පවසා තිබෙනවා.
අදාළ සයිබර් අපරාධ කඳවුරුවලින් මුදා ගත් පිරිස අතර පිලිපීනය, බංග්ලාදේශය, බ්‍රසීලය, නේපාලය, කෙන්යාව, ලාඕසය, ඉතියෝපියාව, පකිස්ථානය, ටැන්සානියාව, ශ්‍රී ලංකාව, උගන්ඩාව සහ තායිවානය යන රටවලින් එහි පැමිණි විදේශිකයන් 261 දෙනෙකු සිටි බවයි වොයිස් ඔෆ් අමෙරිකා ප්රවෘත්ති ඒජන්සිය පවසන්නේ.
source :- https://tinyurl.com/4n4pbjbn







