
නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා ඔරුවකින් යමින් සිටි අම්පාර පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිව්දෙනෙකු රැගත් ඔරුව පෙරළී තිබෙනවා.
අම්පාර කොන්ඩුවටුවාන වැවෙන් එගොඩවීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් මෙසේ (10) වැනිදා අනතුරට ලක්ව තිබෙන බවයි හිරු නිවුස් වෙත අම්පාර පොලිසිය පැවසුවේ.
ඔරුව පෙරැළී වතුරට වැටීමෙන් ස්ථානාධිපතිවරයා සන්තකයේ තිබූ පිස්තෝල ගිනි අවියක් හා එම උණ්ඩ 10ක් අඩංගු මැගසිනයක් වැවට වැටී අතුරුදන්ව ඇතයිද පොලිසිය පවසනවා.

අනතුරෙන් පොලිස් නිලධාර්ර්න් කිසිවෙකුට හානියක් නොමැති අතර එම ඔරුව ප්රදේශයේ ධීවරයෙකුට අයත් එකක්.
අම්පාර කොන්ඩුවටුවාන වැවෙන් එගොඩ නීති විරෝධී මත්පැන් පෙරන ස්ථානයක් පවත්වාගෙන යන බවට පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනූව අම්පාර පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු සිව්දෙනකු මෙම වැටලීමට සහභාගි වී තිබෙනවා.
වැවට වැටී අතුරුදන් වූ පිස්තෝල ගිනි අවිය හා එම උණ්ඩ 10 සොයා අම්පාර නාවික හමුදා කඳවුරේ නිලධාරීහු කණ්ඩායමක් සමග පොලිසිය අද (13) වනවිටත් මෙහෙයුමක් සිදුකරමින් තිබෙන බවයි අම්පාර පොලිසිය හිරු නිවුස් වෙත පැවසුවේ.
source :- https://tinyurl.com/ms6vna67







