කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාසනයේ ප්‍රමාදයට මූලික හේතුව වී ඇත්තේ, බහාලුම් පරික්ෂාව සඳහා ඇති ඉඩකඩ සහ පහසුකම් ප්‍රමාණවත් නොවීම බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දැනට බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය සඳහා ආනයනකරුවන්ගෙන්, නිෂ්කාශන නියෝජිතයන්ගෙන්, ප්‍රවාහන නියෝජිතයන්ගෙන් හා අනෙකුත් රාජ්‍ය ආයතනවලින් රේගුවට නිසි පරිදි සහයෝගයක් නොලැබීම ද ප්‍රමාදයට හේතුවක් බවයි.

දැනට දිනකට බහාලුම් 1,500ත් 3,000ත් අතර ප්‍රමාණයක් ආනයනය කෙරෙනවා.

කෙසේ වෙතත්, භෞතික පරික්ෂාව සඳහා තෝරා ගැනෙන්නේ, ඉන් සියයට 35 සිට 40 දක්වා ප්‍රමාණයක් බැවින්, ඉතිරි සියල්ලම ඉතා ඉක්මනින් නිදහස් කරන බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.

කෙසේ වෙතත් වර්තමාන රජය විසින් නැවතත් කෙරවලපිටිය, යෝජිත රේගු පරික්ෂණ මධ්‍යස්ථානය ඉදිකිරීම හෝ විකල්ප ක්‍රියමාර්ගයක් තුළින් මෙම ගැටලුවට ස්ථිර විසදුමක් සෙවීම සඳහා කටයුතු ආරම්භ කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශවරයා කියා සිටියේ.

එසේම කෙටි කාලීන විසදුමක් ලෙස පෞද්ගලික අංශයේ පරික්ෂණ අංගන භාවිතය පිළිබඳ අවධානය යොමුවී ඇතැයි ද අදාළ නිවේදනයේ සදහන්.

source :- https://tinyurl.com/ybsnaz59

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here