
නිසියාකාරව මානසික වර්ධනයක් නොවූ 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් නීති විරෝධී ලෙස රඳවාගෙන ගණිකා වෘත්තීයේ යෙදවීම ඇතුළු චෝදනාවලට වරදකරු කෙරුණු 31 ක් හැවිරිදි එක් දරු පියෙකුට බරපතල වැඩ සහිත වසර 30ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම දඬුවම වසර 10කින් ගෙවී යා යුතු බව නියෝග කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
ඊට අමතරව විත්තිකරුට රුපියල් 45000/- ක දඩයක් නියම කළ විනිසුරුවරයා අතවරයට පත් දැරියට රුපියල් හාර ලක්ෂ පනස්දාසක වන්දියක් ගෙවන ලෙසත් විත්තිකරුට නියෝග කර තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ තම මවට, සහෝදරියට සහ බිරිඳට ගරු කරන්නා සේම සමාජයේ සිටින නුවණින් මුහුකුරා නොගිය මෙවැනි දරුවන්ට ද ගරු කිරීමට සෑම පුද්ගලයෙකුම වග බලා ගත යුතු බවයි.
එවැනි දරුවන්ට අනීතික ආකාරයෙන් කටයුතු කරන මෙවැනි පුද්ගලයින්ට අධිකරණයෙන් කිසිසේත්ම සමාවක් හිමි නොවන බවත් විනිසුරුවරයා විත්තිකරුට දඬුවම් නියම කරමින් සඳහන් කළා.
දඬුවම් නියම කිරීමට පෙර යමක් කීමට තිබේදැයි විනිසුරුවරයා අතවරයට පත් තැනැත්තියගෙන් විමසා සිටි අතර විත්තිකරුට දඬුවම් ලබාදී තමන්ට යුක්තිය ඉටුකරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාගතයේදී මෙවැනි වැරැදි සිදු කිරීමට අපේක්‍ෂා කරන පුද්ගලයින්ට ද පාඩමක් වන ආකාරයෙන් මෙම විත්තිකරුට දැඩි දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියා.
මෙම තැනැත්තිය විත්තිකරු සමග පැමිණියේ සිය කැමැත්තෙන් බව පෙන්වා දුන් විත්තියේ නීතිඥවරයා විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියා.
එහෙත් නඩු විභාගයේදී එවැනි කිසිදු සාක්ෂියක් අනාවරණය නොවූ බව සඳහන් කළ විනිසුරුවරයා අනතුරුව මෙම දඩුවම් ප්‍රකාශයට පත් කළා.
source :- https://tinyurl.com/nhdfvuuc







