මේ වසරේ ගතවූ මාස 10 තුළ පමණක් දුම්රිය පීලි පැනීම් 86ක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඉන් වැඩිම පීලි පැනීම් වාර්තා වන්නේ උඩරට දුම්රිය මාර්ගයෙන්.

මෙරට දුර්වලතම දුම්රිය මාර්ගය ලෙසින් හැඳින්වෙන මුහුදුබඩ මාර්ගයේ ද බොහෝ අවස්ථාවල පීලිපැනීම් වාර්තා වන අතර, එහි ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පසුගිය 28 වැනිදායි.

පානදුර සිට මරදාන බලා ධාවනය කළ දුම්රියක් කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්වූ අතර, එය පීලිගත කර යළි ධාවනය කරන අතරතුර
යළි මරදාන දුම්රිය ස්ථානයේදී ද පීලි පැන තිබුණා.

මේ සම්බන්ධයෙන් දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙන හේතුව වන්නේ, මුහුදුබඩ මාර්ගයේ පවතින අබලන් ස්වභාවයයි.

තවද, 2020 වසරේ සිට ඊයේ (29) දින දක්වා මෙරට දුම්රිය පීලි පැනීම් 570ක් වාර්තා වී තිබෙනවා.

ඒ 2020 වසරේ 98ක්, 2021 වසරේ 115ක්, 2022 වසරේ 132ක්, 2023 වසරේ 139ක් වශයෙන්.

එමෙන්ම රාජකාරී කටයුතු දුම්රියකින් දිනකට මගීන් 3,000ක් පමණ පිරිසක් මුහුදුබඩ දුම්රිය මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන අතර, එම මාර්ගයේ දුම්රිය ගමන්වාර 80ක් ක්‍රියාත්මක වනවා.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 60ක් ක්‍රියාත්මකවන අතර, එම මාර්ගයේ ද දෛනිකව රාජකාරී සඳහා කොළඹට පැමිණෙන දුම්රිය මගීන් සංඛ්‍යාව ඉතා විශාලයි.

මේ පිළිබඳව අප කළ විමසීමකදී දුම්රිය නගා සිටුවීමේ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩම්ගොඩ පැවසුවේ, දුම්රිය පීලි පැනීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, දුම්රිය දෙපාර්තමේන්තුව සතුව නව දුම්රිය පීලි නොමැති වීම බවයි.

මේ අතර, අඛණ්ඩව සිදුවන දුම්රිය පීලි පැනීම්, දුම්රිය අවලංගු වීම් සහ පරිපාලන ගැටලු සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීමට පාලනාධිකාරිය තවදුරටත් අසමත් වුවහොත් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ.

source :- https://tinyurl.com/k68e989h

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here