ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පසුගිය දින කිහිපයේදී ලබා ගත් දත්ත අනුව රට තුළ ප්‍රමාණවත් තරම් නාඩු සහල් තොග පවතින බවට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, නාඩු සහල් හිඟය මවා පෑමක් බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

කෘෂිකර්ම ලේකම් එම්.පී.එන්.එම් වික්‍රමසිංහ අද කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, සහල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි වෙළෙඳපොළේ සහල් මිල තීරණය කිරීමට රජය කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි.

වෙළඳපොළේ පාලන මිලට සහල් නොමැතිකමින් ජනතාව පීඩාවට පත්ව ඇති පසුබිමක රජය මැදිහත්ව සියලු‍ සහල් මෝල් ගබඩා පරීක්ෂාවට ලක් කළේ සහල් තොග පිළිබඳව වාර්තාවක් ලබා ගැනීමේ අරමුණින්.

ඒ අනුව, පසුගිය දින කිහිපය පුරා පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයක සහල් මෝල් පරීක්ෂා කිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගත් අතර, අද දිනයේදීද හම්බන්තොට ප්‍රදේශයේ සහල් මෝල් ගබඩා පරීක්ෂා කරනු ලැබුවා.

ඒ අනුව, පරීක්ෂා කිරීම් අනුව ලබාගත් තොග වාර්තා අද දිනයේදී ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට නියමිත බවද කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා කියා සිටියා.

කෙසේ වෙතත් වාර්තා ලබාදීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීමක් කළ අතර, එහි සභාපති හේමන්ත සමරකෝන් සදහන් කළේ, අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් මේ වන විටත් තොග වාර්තා ලැබෙමින් පවතින බවයි.

ඒ අනුව, දැනට ලැබී ඇති තොග වාර්තා පමණක් ජනාධිපතිවරයාට යොමුකිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

source :- https://tinyurl.com/2zjed8fr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here