
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් ජනවාරි 23 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එම පෙත්සම අද (28) මොහොමඩ් ලෆාර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී වගඋත්තරකර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිම සදහා රජයේ නීතිඥවරයෙකු පත් කර නොමැති බව සඳහන් වුණා.
මේ සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණ එල්ල කළ විනිසුරු මඩුල්ල මේ ආකාරයෙන් නඩු කල් යාම නුසුදුසු බව සඳහන් කර සිටියා.
එබැවින් මෙම නඩුව සඳහා කඩිනමින් රජයේ නීතිඥවරයෙකු පත් කළ යුතු බව විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නා.
ඉන් අනතුරුව නඩුව ජනවාරි 23 වැනිදා දක්වා කල් තැබුණා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට 2021 වසරේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය තීරණයක් ගෙන තිබූ බවයි.
එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර නිසි පාරිසරික ඇගයීමක් සිදු නොකළ බව පෙන්වා දෙන පෙත්සන්කරවෝ, එම තීරණය ජාතික වන භූමි පනතේ විධිවිධානයන්ට පටහැනි බවත් සඳහන් කළා.
එබැවින් අදාළ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, අදාළ මංමාවත් පුළුල් කිරීමේ කටයුතුවලදී වන්තරයට සිදු කළ විනාශයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත්, පෙත්සම්කරුවන් ඉල්ලා තිබෙනවා.
අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ අධ්යක්ෂවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වන ජීවි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
source :- https://tinyurl.com/bdd5h7f9







