ලොව පුරා ගුවන් සේවා ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛ ආයතනයක් වන “එයාර්ලයින් රේටින්ග්ස්” විසින් පසුගිය දා පහත හෙළන ලද මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම ‍යළි තරු 7 තත්ත්වය දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ එම ශ්‍රේණිගත කිරීම් පහළ දැමීම සඳහා මුල් වූ සිදුවීමට අදාළව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රීලංකන් කළමණාකාරිත්වය කටයුතු කිරීම හේතුවෙන්.

ඉකුත් සැප්තැම්බර් මස 21 වැනිදා ඔස්ට්‍රේලියාවේ සිඩිනි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ බලා පැමිණි ශ්‍රීලංකන් ගුවන් සේවයේ යූ.එල් 607 අංකය දරන ගුවන් යානයේ කපිතාන්වරයෙකු සිය සහායක ගුවන් නියමුවරියට නියමු කුටියට පැමිණීමට ඉඩ නොදීමේ සිද්ධිය මුල් කරගනිමින්, ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම තරු හය දක්වා පහත හෙළනු ලැබුවා.

ගුවන් යානය පියාසර කරමින් තිබියදී එහි සහායක ගුවන් නියමුවරිය වැසිකිළිය වෙත ගොස් ඇති අතර, ඔවුන් අතර ඊට පෙර හටගත් මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් ඇය වැසිකිළියේ සිට ආපසු පැමිණි පසු කපිතාන්වරයා විසින් නියමු කුටියේ දොර විවෘත නොකිරීම මෙම ගැටලුකාරී තත්ත්වයට මුල් වී තිබුණා.

ගුවන් නියමුවරිය වැසිකිළියට ඇතුළු වීමෙන් පසු කපිතාන්වරයා විසින් දොර වසා දමා ඇති බවටද විවිධ වාර්තා පළ වුණා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසුවේ මෙම සිද්ධිය ගැන විමර්ශනයක් ඇරඹූ බවයි.

අදාළ ගුවන් නියමුවරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකන් ගුවන්සේවා ආරක්ෂක අංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා මානව සම්පත් කළමනාකරන අංශයට ද පැමිණිලි කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹුණු අතර කපිතාන්වරයාගේ වැඩ තාවකාලිකව අත්හිටුවා තිබුණේ ඒ අනුවයි.

එම විමර්ශන ක්‍රියාත්මක පසුබිමක සිද්ධියට සම්බන්ධ කපිතාන් වජිර වනසිංහ එම තනතුරින්ද ඉල්ලා අස් වීමට කටයුතු කළා.

source :- https://tinyurl.com/bd6mj9cn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here