මෙරට දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු පමණ හදුනාගන්නා බවත්, පියයුරු පිළිකා නිසා දිනකට තිදෙනෙකු පමණ මිය යන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

එමෙන්ම ලොව පුරා වාර්ෂිකව මිලියන 2.3ක් පමණ පියයුරු පිළිකා රෝගීන් වාර්තා වන බවත්, ඒ අතරින් 670,000ක් පමණ මියයන බවත්, විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා.

පියයුරු පිළිකා මාසය ලෙසට සැලකෙන ඔක්තෝබර් මාසයේ දී සමාජය දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පාගමනක් සහ උත්සවයක් පසුගියදා (02) පැවති අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මේ බව පවසා තිබෙනවා.

“හදුනා ගනිමු. ප්‍රතිකාර ගනිමු. ජය ගනිමු.’’ මෙවර පියයුරු පිළිකා පිළිබඳ මාසයේ තේමාව වන අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා.

වයස අවුරුදු 20න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙසත්, වයස අවුරුදු 20 – 40 අතර කෙනෙක් නම් වසර 3කට වරක් හා අවුරුදු 40කට වැඩිනම් සෑම වසරකදීම සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සම වල ගැසීම, පියයුරු ඉදිමීම, තන පුඩුවේ අසාමාන්‍ය ශ්‍රාවයක් හෝ ලේ ගැලීමක්, තන පුඩුව ඇතුළට ගිලී යාම (ළඟදී ඇති වුණු), පියයුරුවල වේදනාව, සමේ ඇති වන වෙනස්කම් වැනි රෝග ලක්ෂණ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට ද, ඒ සදහා සුවනාරී සායන, සුවදිවි සායන, පිළිකා කළින් හදුනා ගැනීමේ මධ්‍යස්ථාන, පියයුරු සායන, ශල්‍ය සායන, සදහා යොමු විය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.

මේ අතර, පියයුරු පිළිකාව කල් ඇතිව හදුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් සුව කළ හැකි බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 26ම ආවරණය වන පරිදි වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු වෙනත් ජාත්‍යන්තර සංවිධාන පිළිකා සදහා වෙනත් දිනයක් පමණක් නම් කර තිබෙන අතර, පියයුරු පිළිකාව සම්බන්ධයෙන් මසක්ම නම් කර තිබෙන්නේ එහි වැදගත්කම නිසා බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

source :- https://tinyurl.com/ycxex8pf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here