යූටියුබ්කරුවකු වන අජිත් ධර්මපාල නැමැත්තකු විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවක් හරහා තමන්ට මරණ තර්ජන ඇති බව අනාවරණය කොට ඇති බවත්, ඒ අනුව තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙසත් පවසමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.

මේ අතර, මෙරට බුද්ධි අංශය විසින් ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට කුමණ හෝ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බව විදෙස් රටක සිට අජිත් ධර්ම­පාල නම් තැනැත්තෙක් විසින් ගෙන එන ශ්‍රී ලංකා පොලි­සිය දේශ­පා­ල­න­යෙන් මුදා­ගැ­නීමේ ජාත්‍ය­න්තර සංවි­ධා­නය (IODPP Police) යන යූටි­යුබ් නාළි­කාව හරහා වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන පුවත මීට පෙර ගගන ප්‍රවෘත්ති අංශය විසින් හෙළිකරනු ලැබීය.

මෙම වීඩියෝව මගින් හෙළිකර ඇත්තේ, චමුදිත මීට පෙර බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙක් සමග සිදු කළ සාකච්ඡාවකදී එම බුද්ධිඅංශ නිලධාරියා විසින් හෙළි කළ ඇතැම් කාරණා මත පදනමව ශ්‍රී ලංකා බුද්ධි අංශය විසින් චමුදිතට සහ අදාල බුද්ධි නිලධාරියාට ප්‍රහාරයක් එල්ල කිරීමේ ප්‍රබල කුමන්ත්‍රණයක් පවතින බවයි.

මෙම ප්‍රහාරය ඉදිරි දින කිහිපය තුළ දී ශ්‍රී ලංකා බුද්ධි අංශය විසින් සිදු කර එය ජාතික ජනබලවේගය මත පැටවීමේ ප්‍රබල සූදානමක් පවතින බවයි අජිත් ධර්ම­පාල නම් මෙම පුද්ගලයා අදාල යූටියුබ් නාලිකාව හරහා වීඩියෝවක් නිකුත් කරමින් පවසා තිබුණේ.

එම නිසා රටේ විවිධ කාරණා ගැන ප්‍රබල හෙළිදරව් සිදු කරන මෙවැනි මාධ්‍යවේදීන්ට යම් අනතුරක් සිදු විය හැකිනම් එය සිදුවීමට පෙර ඊට අදාල ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නට මෙරට ආරක්ෂක අංශ වහා ක්‍රියාකළ යුතු යැයි ගගන අප මතක් කර දෙන්නෙමු.

තවද මොහු විසින් සිදු කරන මෙම ප්‍රකාශයන් වැරදිනම් වහාම ඒ ගැන සොයා බලා ඊට කඩිනම් පියවර ගැනීමටද කටයුතු කිරීම මෙරට ආරක්ෂක අංශ වල ප්‍රධාන වගකීමකි.

මේ අතර, චමුදිත සමරවික්‍රම මහතාව ඝාතනය කිරීමට ඩුබායි රටට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසක් සාකච්ඡා කර ඇති බවට දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර වීඩියෝව නිකුත්කිරීම පිළිබඳව සමරවික්‍රම මහතා පිලියන්දල පොලිසියට පැමිණිල්ලක් පසුගියදා ඉදිරිපත් කළේ ය.

ඒ අනුව නාමල් කුමාරගෙන් පිළියන්දල පොලිසියේ අපරාධ විමර්ශණ අංශය ප්‍රකාශයක්ද ලබාගත් අතර සමරවික්‍රම මහතාගේ ඉල්ලීම පරිදි වැඩබලන පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ නියෝග පරිදි එම විමර්ශණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය.

කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාමල් කුමාර ලබාදුන් තොරතුරු මත කොළඹින් බැහැර ප්‍රදේශයකට ගොස් පරික්ෂාකිරීමක්ද සිදුකර නාමල් කුමාරගෙන් ප්‍රකාශයක් සහ සාක්ෂිද ලබාගෙන ඇත.

ඒ සමගම සමරවික්‍රම මහතාගෙන්ද CID ය ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර නාමල් කුමාර සතු වැඩිදුර සාක්ෂි ලබාගැනීම සදහා 2024/09/04 වන දින පෙව 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශණ ඒකකයේ පෙනී සිටින ලෙස නාමල් කුමාරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා දන්වා තිබිණ.

source :- https://tinyurl.com/2t44ahpr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here