අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් විනිසුරු නිල කාමරයේ ගිනි අවියක් පත්තු වී ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසනවා.

හිරු නිව්ස් කල විමසීමකදී පොලිස් මාධ්‍ය කාර්යාලය කියා සිටියේ ඊයේ පස්වරුවේ අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් විනිසුරු නිල කාමරයේ දී මෙම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති අතර එහිදී කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවය.

අදාළ ගිනි අවිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මේ වන විට අනුරාධපුර කොට්ඨාශ පොලිසිය විසින් විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අප වෙත පවසා සිටියේ ඔයාමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බදින ලද තුවක්කුවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එම බදින ලද තුවක්කුව අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින නඩුවකට අදාළව, නඩු භාණ්ඩයක් ලෙස නම් කර ඇති අතර රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට මහෙස්ත්‍රාත්වරියගේ අත්සන යෙදීමෙන් අනතුරුව මුද්‍රා තබන අවස්ථාවේදී බිත්තියට හේත්තු කොට තිබු මෙම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇතැයි පොලිසිය හිරි නිව්ස් වෙත කියා සිටියා.

ගිනි අවිය පත්තු වීමට පෙර අතිරේක මහෙස්ත්‍රාත්වරිය සිය විනිසුරු නිල මැදිරියෙන් පිටව ගොස් ඇති බව ද සඳහන් කරයි. මෙම සිද්ධියෙන් කිසිවකුට හෝ තුවාල සිදුව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අප වෙත කියා සිටියා.

අධිකරණය හමුවේ පවතින නඩුවකට අදාළව නඩු භාණ්ඩයක් ලෙස නම් කරන කුමන හෝ වර්ගයේ ගිනි අවියක් දැඩි පරීක්ෂාවට ලක්කර එම ගිනි අවිය තුළ ජීව උණ්ඩ තිබේදැයි යන්න දැඩි ලෙස පරික්ෂා කොට, ඉන් අනතුරුව අධිකරණයට භාරදීම පොලිසියේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් වනවා. නමුත් මෙම ගිනි අවිය අදාළ පොලිසිය මගින් නඩු භාණ්ඩයක් ලෙස නම් කොට අධිකරණයට භාරදී ඇත්තේ, එම ගිනි අවිය අභ්‍යන්තරයේ ජීව උණ්ඩ හෝ වෙනත් පුපුරන ද්‍රව්‍ය තිබියදී දැයි මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අප වෙත කියා සිටියා.

source :- https://shorturl.at/hAiAQ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here